චෝදනාවක්ද මේ? වේදනාවක්ද මේ?
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබහට මා දකින්නට
හදවතේ හැම සියුම් ස්නායුවක්ම උත්තේජනය වෙන්නේ ඔබේ ප්‍රේමයේ වත්කම් ඇසුරෙණි... එහෙත් කෙලසද ඒ ප්‍රේමයේ තරම මෙතැකැයි කියන්නේ මම නුඹට...
නෙලා කඳුළු කැට හිමි සඳ පවස නිවූ යශෝධරාවන් මම නොසොයමි. සඳ කිඳුරියකව උපන් භවයේ රැකි පති දමේ ආනුභාවයෙන් ප්‍රේමයේ අනුහසින් සඳ කිඳුරාට ප්‍රාණය සොයා දුන් යශෝධරාවෝ මම නොසොයමි. එහෙත් ප්‍රේමය කුමක්දැයි හඳුනන මගේ හදවත නුඹට කියවිය හැකිනම්... ඔබ වෙනුවෙන් මා කළ අපමණක් පරිත්‍යාග කැපකිරීම් ඔබ වෙනුවෙන් මා කරන යුතුකම් වගකීම් මේ සියල්ල තුළ ඔබ වෙනුවෙන් මා දන් දෙන විසල් ප්‍රේමයේ මහිමය ඔබට හඳුනාගත හැකිනම්... එහෙත්
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව....
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබහට මා දකින්නට
මගේ ප්‍රාණය හිස් අවකාශයේ කොහේ හෝ තැනක සැඟවී ගිය දවසක ඔබේ ජීවිතය පුරා රැඳෙන හිස්කම් ඔබට මගේ ප්‍රේමයේ තරම පසක් කරතැයි මට සිතේ. මගේ හදවත ඔබට කියවිය හැක්කේ මගේ මරණයෙන් ඉනික්බිතියැයි මට සිතේ. ජීවිතේ ගමන් මඟ එක්ව යන්නට අත්වැල් බැඳ ගත්තත් ඔබ තරම් මා නාඳුනන අනෙකෙක් නැතැයි මට සිතේ. ඔබේත් මගේත් දෑඟිලි එක්ව බැඳ ඇත්තේ නීතියේ වගන්ති සහ සම්ප්‍රදායේ රීතින් විසින් මිස හදවතින් හදවතට යා වූ ආත්මීය බන්ධනයකින් නොවේයැයි මට සිතේ.
ඉඳින් සඳ එළියක් නිබඳව පැතූ මුත් නුඹ මගේ ලෝකයට අමාවක රාත්‍රියක්ම පමණි.
විවාහය වරෙක යෝජනාවක ප්‍රතිඵලයකි. තවත් වරෙක ස්නේහයේ බැඳුමක ප්‍රතිඵලයකි. තවත් වරෙක එය බුද්ධියේ ඇස් වැසුණු මොහොතක දුර්වල දුර නොපෙනෙන සංවේදී හැඟීම් මත හදවතට වහල් වී ගත් තීරණයක් විය හැක. කෙනෙක් වෙනුවෙන් කෙනෙක් කළ කැපකිරීම් පරිත්‍යාගයන් විෂයෙහි ඔබට ගෞරවයක් ප්‍රදානය කළ නොහැකිනම් වටිනාකම් හඳුනාගෙන වටිනාකම් ප්‍රදානය කළ නොහැකිනම් එය හුදෙක් භෞතික සාධක මත තීරණය වන ගනුදෙනුවක් පමණක්නම් අවසානයේ එවන් නීරස කටුක විවාහ බන්ධනයක් යනු සියලු අධ්‍යාත්මික වටිනාකම් අත්හල රුදුරු බැඳීමකි. අද පුවත්පත් මංගල තීරය දෙස ඔබ විශ්ලේෂණාත්මක ඇසකින් බලන්න. රැකියාව, දේපල, සමාජ තත්ත්වය, පවුල් පසුබිම, භෞතික වටිනාකම් මේ සියල්ල හුවා දක්වන අයැදුම් පත්‍රයක් බඳුය; මංගල දැන්වීම. එවන් මංගල දැන්වීම් ඔස්සේ ගැට ගැහෙන විවාහය යදමක් මිසක බැඳුමක් බවට පත්වෙන සම්භාවිතාවය බොහෝ සෙයින් විරලය. භෞතික සම්පත් සහ භෞතික වටිනාකම් මත ඇතිවෙන විවාහයක් හෝ දෙදෙනකුගේ බැඳීමක් ඒ සම්පත් වටිනාකම් අහිමි වූ දිනෙක නිරායාසයෙන්ම ගිලිහී යා හැකිය. මක්නිසාදයත් එකී බන්ධනයන්ගේ පදනම තීරණය කර ඇත්තේ භෞතික සාධක මත වන හෙයිණි. අපි ඉරණම ගැන නිශ්චිතව නොදන්නෙමු. අද රජෙකු වෙසින් ජීවිතය භුක්ති විඳින ඔබ හෙට කිසිවක් නැති හිඟන්නකුගේ තත්ත්වයට පත්විය හැක. ඔබේ ජීවිතය හා බැඳී සිටින අනෙකාගේ ප්‍රේමයේ පදනම හුදෙක් භෞතික වටිනාකම් පමණක්නම් එදවසක ඔහු හෝ ඇය ඔබ නොසලකා හරින්නට පිටමං කරන්නට මොහොතකට වැඩි ඉඩහසරක් නොසොයනු ඇත. එහෙත් ඔබේ ජීවිතය හා බැඳී සිටින අනෙකා කොන්දේසි විරහිතව ඔබ කියවන්නේනම් ඔබේ ප්‍රේමයේ මුදුන් මුල් ගැඹුරේ ස්නේහය හඳුනන්නේනම් දත්මිටි කාගෙන ඔබේ ප්‍රේමය දැඩි වෙසින් අල්ලාගෙන සිටින්නේනම් ඔබ ජීවිතේ කවර දුක්ඛ දෝමනස්සයකට මුහුණ දුන් මොහොතක හෝ ඔහු හෝ ඇය ඔබ හැර නොයනු ඇත.
වරක් බුදුන් වහන්සේ හමුවෙන්නට ආ නකුල මාතා හා නකුල පිතා යන දම්පතීන් බුදුන් වහන්සේගෙන් මෙවැනි පැනයක් විචාළහ.
ස්වාමිනි.. අප දෙදෙනා කවදාවත් එකිනෙකා දෙස අමනාපයෙන් බලා නැත්තෙමු. සිත් රිදෙන්නට වචනයක්වත් කියා නැත්තෙමු. එකිනෙකාගේ ගෞරවය රකිමින් ඉතාමත් ගෞරවයෙන්, ප්‍රේමයෙන්, සතුටින් දිවි ගෙවා ඇත්තෙමු. නිර්වාණය සාක්ෂාත් කරන භවය දක්වා ස්වාමී භාර්යා ලෙසින් හමුවීම අපේ පැතුමයි. ස්වාමීනි ඒ වෙනුවෙන් අපි පාරමිතා සපුරන්නේ කෙලෙසද?
නකුල යුවළට බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක.
යම් ස්වාමිපුරුෂයෙක් සම ශීල, සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා වඩන්නේනම් ඔවුනොවුන්ට නින්දා අපහාස නොකරමින් ඔවුනොවුන්ගේ ගෞරවය වඩමින් රකිමින් පති පතිනි ධර්මතාවය රකිමින් ජීවත් වන්නේනම් ඔවුනොවුන් මේ සසර සුවිසැරිය පුරා නොගිලිහෙන බැඳීමකින් හමු වෙනු ඇත.
එහෙත් අද එවන් ධර්මයන් සාක්ෂාත් කරන නකුල මාතාවන් නකුල පිතාණන් සදිසි ස්වාමි භාර්යාවරුන් තත්කාලීන සමාජයේ බොහෝ සෙයින් විරලයැයි මට සිතේ.
වසර ගණනක යොදුන් ගණනක
ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
ඔහු ඔහුගේත් ඇයගේත් ප්‍රේම පුරාණයට අයිති අතීතය සිහිපත් කරයි. ස්නේහයෙන් කම්මුල් සිපගත්තත් ස්නේහයෙන් හදවත් සිප ගන්නට හැකිද හැම පෙම් යුවලකටම.. ස්නේහයෙන් අරපරිස්සමින් හදවත් කියවන්නට හැකිද හැම පෙම් යුවලකටම.. ප්‍රේමයේ මතු පිට රස හා සුව සොයන බොහෝ පෙම්වතුන්ට ප්‍රේමයේ ගැඹුර නොවැටහෙයි. ප්‍රේමයේ වටිනාකම් වත්කම් සුරක්ෂිත කරනු වස් රැකිය යුතු ගුණධර්ම නොවැටහෙයි. ප්‍රේමය මහා දානයක් මිසක් ගනුදෙනුවක් නොවිය යුතු වග නොවැටහෙයි. ප්‍රේමය කවරක්දැයි වටහාගන්නට ඔබ කියවිය යුතු එකම චරිතය යශෝධරාවයැයි මට හැඟේ.
සියල්ල අවසානයෙත් ප්‍රේමය ඔහු හද හැර නොයයි... කලකිරීම් පපුව මැද පාරද්දීත්...
සුහදිනි.. ඔහු ඇය ආමන්ත්‍රණය කරන්නේ ඒ ස්නේහවන්ත ආමන්ත්‍රණයෙනි.
ප්‍රේමය දැන හඳුනන සිත් ඇත්තෝ එහෙමය.
මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
පරවී ගිය කුසුමෙක පරවී දුරක ගිය සිහිනෙක මතක මාත්‍ර වේදනාවෙන් තෙත බරිත දෙඇස් පාරයි. ඒ කුසුම් ජීවන ප්‍රාර්ථනාවන්ය.
මගේ ප්‍රකෘතිය මගේ ප්‍රාණය පරවී ගිය සිහින අතර පැතුම් අතර සැඟවී මා ඔබෙන් දුරස් වී ගිය සඳ..
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
ඔබ ඉක්මවා නොගිය.. ඔබට ඇහුම්කන් දුන්.. ඔබ වෙනුවෙන් ජීවත් වූ හදවතක් ඔබ වෙනුවෙන් මේ ලෝකයේ තිබුණු වග.. ඔබට නොදැනෙන්නට හැටියක් නැතැයි මම හඟිමි.
ප්‍රේමය ප්‍රේමයම වූ සඳ ඊටත් වඩා සොඳුරු අන් යමක් වෙත්ද මේ මිහිමත...
මේ ගීයේ මහරුත් ලොව සියලු හදවත් අස වලංගුයැයි මම විශ්වාස කරමි.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර